ටියුෂන් සර්-10

පෙර කොටසින්...පැකිළෙමින් පඩිපෙළ බැස පන්තියට ඇතුළු වූ මා සිසුන් දෙස බැල්මකුදු නොහෙළා පන්තිය අභිමුඛයට පා නැගීමි. ලැප්ටොප් පරිගණකය ප්‍රක්ෂේපන යන්ත්‍රයට සවි කරගත් මම සිසුන් දෙසට නෙත් යොමු කළෙමි. මගේ හදවත නතර වූයේ එවිට ය. මොහොතක් ගතවන්නටත් පෙර මගේ නළලේ දහඩිය බිඳු රැඳිණ. කළු පැහැති කමිසය දහඩියෙන් පෙඟී බත් විය. මගේ ජීවිතයේ ඉතුරු වූ  ‘ෆිල්ටර්’   කොටසත් දැවී ගියා සේ හැඟීමක් මට ඇති වූයේ නිතැතිනි. නොනවතින යන්ත්‍රයක් සේ දහඩිය මතු වේ. මගේ මුවෙහි ඛේට බිඳකුදු නොවේ. දෙතොල් වියළී ගොසිනි. මගේ මුහුණින් පිළිබිඹු වූයේ කුමන බැල්මක් දැයි මම නොදනිමි. පිටුපස පේළියේ හුන් පිරිමි ළමුන් දෙදෙනා මුහුණින් මුහුණ බලා ගත්හ. ඉදිරි පෙළ සිසුවියන් තිදෙනාගේ ස්වරූපය ද මගේ ස්වරූපය ම වේ. මේ මං ආතල් දීපු කෙල්ලො තුන් දෙනා නේ ද?  මගේ හදවත ගැළවී එළියට එන තරම් වේගයකින් ගැහේ. මුළු පරිසරයම මූසල නිහැඬියාවකින් වෙළී ඇත.
අවසානයේ මගේ හැඟීම් යම්තාක් දුරට පාලනය කර ගැනීමට මට හැකි විය. සිසුන්ට ආයුබෝ පැතූ මම ගැහෙන හදින් යුතු ව ආරම්භක දේශනය පැවැත්වීමි. මනසේ සංවිධානය වී තිබූ කරුණු රැස දැන්අමතකය. මුවට වචන ගලා එන්නේ ද නැත. සිසුවියන් තිදෙනාගේ හිස්, මේසය දෙසට යොමු වී තිබේ.
දීර්ඝ වූත්, කර්කශ වූත්, මූසල වූත් දෙපැයක් ගෙවී ගියේ ය. සිසුන්ට මිනිත්තු පහළොවක විවේකයක් දෙමින් මා නැවතුනේ විවේකාගාරයේ අසුනක් මතයි. දොර තදින් වසා දැමූ මම දිය උගුරු කිහිපයකින් මුව තෙත් කර ගතිමි. බමවමින් තිබූ හිසට නිදහසක් වනු වස් ‘පැනඩෝල්’ පෙති කිහිපයක් ගිල දැමීමි. මා ආරම්භය ම විනාශ කරගෙන ඇත. මගේ ටියුෂන් දිවිය දෙදරා යනු ඇත, යන අනියත බිය මා සසල කරවී ය. ඔවුන් මා ගැන කුමක් සිතනු ඇත් ද යන හැඟීමෙන් මා ආත්ම ලැජ්ජාවට පත් වීමි. නොඉවසිලිමත් ලෙස විවේකාගාරය පුරා ඔබමොබ ඇවිදිමින් මම කල්පනාබරිත වුණෙමි. මා ලබා දුන් විවේකයෙන් මිනිත්තු දොළහක් ගෙවී ගොස් ය.
- 10 -

මතු සම්බන්ධයි...


ටියුෂන් සර්-10 ටියුෂන් සර්-10 Reviewed by සෙනිර සෙව්මිණ on 7:35 PM Rating: 5

No comments:


Powered by Blogger.